ජෙනරාල් සරත් ෆොන්සේකාට බරපතල වැඩ ඇතිව වසර දෙකහමාරක සිර දඬුවමක් පනවයි.
අභියාචනාත්මක බලය හිමි ජනාධිපතිවරයාට පමණයි
ෆොන්සේකා ඉල්ලීමක් කළොත් සලකා බැලීමට රජය සූදානම්
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හමුදා අධිකරණය ශ්‍රෙෂ්ඨාධිකරණය හා සම මට්‌ටමක පවතින බැවින් එම තීන්දුව සම්බන්ධව අභියාචනාත්මක බලය හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.
එබැවින් රාජ්‍ය මූල්‍ය වංචාවන් සම්බන්ධව වරදකරු බවට පත්ව දෙවැනි යුද අධිකරණය මගින් මාස 30 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාව දීම සම්බන්ධව බලය හිමිව ඇත්තේ ද ජනාධිපතිවරයාට බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීමට ආධාර කිරීම, හමුදා කුමන්ත්‍රණ කිරීමට අනුබල දීම යන ක්‍රියාමාර්ග වලින් බැහැරව තමා කළ වරද පිළිගෙන ව්‍යවස්‌ථානුකූලව වරදකරුවකුට හිමිව ඇති ජනාධිපති සමාව ලබාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට රජය සූදානම් බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීවේය.
රාජ්‍ය මූල්‍ය වංචාවන් සිදුකිරීම සම්බන්ධව නිලධාරීන් කිහිප දෙනකුම මේ වනවිට සිරගත කර ඇත. සරත් ෆොන්සේකා මහතාටද සිරදඬුවම් හිමිවූයේ ඒ අනුවය. එවැනි දඬුවම් හිමිවූවකුට සිය වරද පිළිගෙන ජනාධිපති සමාව හිමිකර ගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
ඉහත ලිපිය මනෝඡ් අබයදීර විසින් - 2010 ඔක්තෝබර් 03 - දිවයින ඉරිදා සංග්‍රහයේ පල කරන ලද්දකි.
ශ්‍රී ලංකා දේශපාලනයේ සරත් ෆොන්සේකා භූමිකාව පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක්.
මෙම පුවත විශේෂයෙන්ම ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය පිළිකෙවු කරන සෑම ශ්‍රී ලාංකිකයෙකු තුළම දැඩි කම්පනයක් සහ ශෝකයක් ජනිත කළේය.
මේ සන්ධිස්ථානයට පැමිණෙන තුරු ලංකා දේශපාලනයේ ජෙනරාල් සරත් ෆොන්සේකා භූමිකාව කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අපේක්ෂාව වේ.
සරත් ෆොන්සේකා රට හමුවට එන්නේ කෙසේද?
යුද්ධය ඇරඹෙන විට විශ්‍රාම යාමට නියමිතව සිටි සරත් ෆොන්සේකාගේ සේවය දීර්ඝ කර ඔහුව යුධ හමුදාපති ධූරයට පත් කරන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂය.
හමුදාපති ධූරයට පත් වූ වහාම ඔහු මාරාන්තික බෝම්බ ප්‍රහාරයකට ලක් වන අතර, මාස හයකට අධික කාලයක් පුරා ෆොන්සේකාට ලබා දිය හැකි ඉහලම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරම ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයද අති සාර්ථක ලෙස මෙහෙයවීය.
ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගත්තේ කෙසේද?
කවුරු කෙසේ කීවද මම දකින පරිදි ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණයේ තීරණාත්මක සාධක පෙළගැසෙන්නේ පහත පරිදිය.
සිය දේශපාලන අනාගතය පරදුවට තබමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නොසැලුනු දේශපාලන අධිෂ්ටානය යුධ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධානතම කරුණය. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය,නෝර්වේ ප්‍රමුඛ සියලු ස්කැන්ඩිනේවියානු රටවල්, කෙටියෙන් කියතොත්රුසියාව, චීනය හා ඉන්දියාව හැර අන් සියලු ලෝක බලවතුන්ගේ දැඩි විරෝධය නොතකා සිය අධිෂ්ටානය රඳවා ගැණීමට හැකි පිටකොන්දක් ජනාධිපති වරයාට තිබූ බව ජාතියක් ලෙස අප මතක තබා ගත යුතුය. කොටු වූ ත්‍රස්තවාදී නායකයෙකු මුදා ගැණීම සඳහා අනාරක්ෂිත යුධ බිමට යාමට සූදානමින් ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරු එකවර කිසියම් රටකට ගොඩ බට ලෝක ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද එය වූ බව සටහන් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලංකාවට පැමිණීමට සූදානමින් සිටි අතර කොටි හිතවාදියෙකු වූ ස්වීඩන් විදේශ ඇමතිවරයාට වීසා නිකුත් කිරීම රජය ප්‍රතික්ෂේප කළේය. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා කෙරෙහි එල්ල වී තිබූ අන්තර්ජාතික පීඩනයේ තරම එයින් වටහා ගත හැකිය (කට වචනයෙන් කියන්නේ නම් ත්‍රස්තවාදයට එරෙහිව ජනාධිපතිවරයා ක්‍රීඩා කළේ ඩූ ඔර් ඩයි වර්ගයේ ගේමකි.) යුද්ධය පරාජය වී නම් දේශ ද්‍රෝහීන් සහ මානව වර්ගයාට එරෙහිව අපරාධ කලවුන් ලෙස හංවඩු ගසා මරා දමන ලද මහින්දගේ සහ ගොඨාභයගේ සොහොන් මත අද පැල වෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ ගස්ය.
යුධ ජයග්‍රහණයේ දෙවන ප්‍රධානතම කාර්යභාරය ඉටු කළේ ඉන්දියාව, පාකිස්ථානය, රුසියාව සහ චීනයද, නැගෙනහිර යුරෝපා රටවල්, නොබැඳි රටවල් සහ ඊශ්‍රායලය ඇතුළු බටහිර බලවතුන් හැර සමස්ථ විකල්ප ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට හිතකර විදේශ ප්‍රතිපත්තියක රඳවා ගැණීමටත්, ජාත්‍යන්තර නීතිය ශ්‍රී ලංකාවට එරෙහිව යොදා ගැණීමට මොනම මොහොතකවත් ඉඩ නොතබමින්, ශ්‍රී ලංකාවට මිතුරු රාජ්‍යයන් බටහිර බලවතුන්ට එරෙහි ආරක්ෂක පලිහක් සේ භාවිතා කරමින්, ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය නවීන ආයුධ ලබා ගැණීමේ මං විවර කර ගණිමින් ප්‍රශස්ථ රාජතාන්ත්‍රික කාර්යභාරයක් ඉටු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂය. ඔහු ඉටු කළ කාර්ය භාරය නොවන්නට ජනාධිපතිවරයාගේ අධිෂ්ටානය ඵල දරන්නේ නැත. (ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු මැදිහත් වීමෙන් වඩමරච්චි මෙහෙයුම නවතන්නට සිදු වූ අයුරු සහ ඉන්දියාවේ පරිප්පු මෙහෙයුමත්, ඉන්දීය සාම සාධක හමුදා ලංකාවට ගොඩ බැසීමත් සමග සසඳන්න)
යුධ ජයග්‍රහණයේ සිවුවැනි ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළේ, සටන් විරාම සමයේ රනිල් වික්‍රමසිංහ රජය යටතේ පාවාදෙනු ලැබ, කොටි ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක්ව, මුලුමනින්ම පිරිහී තිබූ ශ්‍රී ලංකාරජයේ බුද්ධි අංශ ඇතුළු සමස්ථ ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානය කරමින් යුද්ධය සඳහා අයෝමය නායකත්වයක් සැපයූ ගෝඨාභය රාජපක්ෂය. යුධ හමුදා අන දෙන නිලධාරියෙකු ලෙස උතුරේ යුධ
මෙහෙයුම් පිළිබඳ
ඔහුගේ දීර්ඝකාලීන අත්දැකීම් ඊට හේතු වූ බව පැහැදිළිය. නිසි ප්‍රති සංවිධානයක්, ඒකාබද්ධ මෙහෙයුමක් හා අන දීමක් නොවන්නට කවර කාරණා සම්පූර්ණ වුවද ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැණීම අසීරුය. (චන්ද්‍රිකා පාලන සමයේදී මුලතිව්, පුනරීන් අලිමංකඩ වැනි බලසේනා මූලස්ථාන සමූලඝාතනය කරමින් යුධ හමුදාව දකුණින් වව්නියාව තෙක්ද උතුරින් යාපනය තෙක්ද එලවා දැමූ ආකාරය හා සසඳන්න)
ආරක්ෂක හමුදාවන්හී කාර්යභාරය පැමිනෙන්නේ පස්වෙනිවය.
එය පහත පරිදිය.
බුද්ධි අංශ අත්‍යවශ්‍ය තොරතුරු රැස් කළේය.
අදාල තොරතුරු උපයෝගී කර ගණිමින් නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ විශාල ආයුධ නැවු දහයක් ගිල්වා දමමින් සහ ඔවුන්ගේ මුහු කොටි බලකාය මුලුමනින්ම අකර්මන්‍ය කරමින් මුහුදු සැපයුම් ජාලය බිඳ දැමීම හේතුවෙන්
ත්‍රස්තවාදීන් ගොඩ බිමට කොටු විය.
අදාල බුද්ධි තොරතුරු උපයෝගී කරගනිමින් ගුවන් හමුදාව ත්‍රස්තවාදීන් වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, තමිල් සෙල්වන් වැනි ත්‍රස්තවාදී නායකයන්ට ගුවනින් පහර දී මරා දැමීමට තරම් නිරවද්‍ය වූ එම ප්‍රහාර හේතුවෙන් ත්‍රස්තවාදීන් තීරණාත්මක ලෙස අඩපන විය.
යුධ හමුදාව කඩා වදින්නේ මෙලෙස කොටු කරන ලද කොටි ත්‍රස්තවාදීන් වෙතය. විය යුතු පරිදිම අසීරුම සහ බියකරුම ක්‍රියාන්විතය සිදු කළේ ගොඩබිම් හමුදාව වූ අතර යුද්ධයේ වැඩිම හානිය සහ අවධානම අත් වින්දේද ඔවුන්ය. සිය හමුදාව අති දක්ෂ ලෙස මෙහෙයවීම මෙන්ම ජනතාව සමග ඍජුවම ගැටෙන හමුදාව, යුධ හමුදාව වන බැවින් අනිකුත් හමුදාපතිවරුන් පරයා යුධ හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා ප්‍රමුඛත්වයට පත් වීම ස්වභාවිකය. නාවික හමුදාව සහ ගුවන් හමුදාව තුවාල කරුවන් ප්‍රවාහණය සහ සැපයුම් අඛණ්ඩව පවත්වා ගණිමින් යුධ හමුදාවේ ශක්තිය රඳවා ගත්තෝය.
ශ්‍රී ලංකාව කොටි ත්‍රස්තවාදයට එරෙහි භෞතික යුද්ධය ජයග්‍රහණය කළේය.
යුධ ජයග්‍රහණය සඳහා හමුදා මෙහෙය වූ හමුදා නායකයන්ට උසස්වීම් පිරිනමමින් ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පල කළේය.
ඒ අනුව යුධ හමුදාපති සරත් ෆොන්සේකා ජෙනරාල් තනතුරටද,
නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද්මිරාල් තනතුරටද,
ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක එයාර් චීෆ් මාර්ෂල් තනතුරටද උසස් කෙරිණි.
මේ නිලයන් තුනම ජනරාල් තනතුරුය.
බලන්න.
සන්නද්ධ හමුදාවක මීට ඉහලින් ඇති තනතුර වන්නේ;
යුධ හමුදාවේ නම් ෆීල්ඩ් මාර්ෂල්ය.
නාවික හමුදාවේ නම් ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්ය.
ගුවන් හමුදාවේ නම් මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්ය.
බලන්න.
යුද්ධයේ දේශපාලනය ඇරඹේ.
සන්නද්ධ හමුදා ප්‍රධානීන් තිදෙනා අතුරින් රජයේ වැඩි ඇගයීමකට ලක් වන්නේ සරත් ෆොන්සේකාය.
අනතුරුව අද්මිරාල් වසන්න කරන්නාගොඩ හමුදා ප්‍රධානීන් තිදෙනා අතුරින් සේවාවෙන් ජ්‍යෙශ්ඨතමයා බව නොසළකමින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර සරත් ෆොන්සේකාට පිරිනැමේ. ඉන් පසු
එතෙක් උත්සවාකාරී තනතුරක්ව පැවති මෙම තනතුර හමුදා තුනටම අන දිය හැකි බලය ඊට ලැබෙන පරිදි සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එය රට හමුදා ඒකාධිපතිත්වයක් කරා යොමු කළ හැකි අන්දමේ භයානක පනතක් ලෙස එජාපයේ සහ ජවිපයේ නිර්දය විවේචනයට ලක් වේ.
මේ වකවානුවේදී ජෙනරාල් ෆොන්සේකා හා රජය අතර පැවති විශ්වාසය බිඳී යන සෙයක් පෙනී යන අතර මේ සමගම සිය දේශපාලන ආගමණය ප්‍රකාශයට පත් කරමින් ෆොන්සේකා සිය තනතුරින් ඉල්ලා අස් වේ.
දේශපාලනයේ යුද්ධය ඇරඹේ.
මේ වන විට රට තුළ ෆොන්සේකාගේ ජනප්‍රියත්වය දෙවැනි වන්නේ ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට පමණි. මේ ජනප්‍රියත්වයෙන් දේශපාලන වාසි ලැබීමේ අරමුණින්
ෆොන්සේකාට දේශපාලන කඔ ගිල්ලීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව ඉටු කරන්නේ ජවිපෙ යයි. එජාපය සහ මුස්ලිම් කොන්ග්‍රසය ඊට නොදෙවෙනි ලෙස එම කාර්යයට දායක වන අතර පසුව දෙමළ සන්ධානය සහ මනෝ ගනේෂන්ද ඊට එක් වේ.
එක්වරම රටට දැක ගත හැකි වන්නේදේශීය සහ ජාත්‍යන්තර සියලු බෙදුම්වාදී හා කොටි හිතවාදී කණ්ඩායම් ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් එක පෙරමුණකට සන්ධානගතව රජයට එරෙහිව නැගී සිටින ආකාරයයි. (තාවකාලික අරමුණක් සඳහා මේ අශුද්ධ සන්ධානය ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ කිසි කළෙක බෙදුම්වාදී ව්‍යාපාරයක් නොවූ බව මෙහිලා සටහන් කළ යුතුය)
ජනාධිපති මැතිවරණය වියයුතු පරිදිම ද්වේෂසහගත මඩ ගසා ගැණීමක් විය.
ෆොන්සේකාට එජාපයට සහ ජවිපෙට අනුව ත්‍රස්තවාදයට එරෙහි සමස්ථ යුද්ධය මෙහෙයවා එය දිනා තිබුනේ ෆොන්සේකාය. ෆොන්සේකාට අනුව ඒ මුලු කාලය පුරා ජනාධිපතිවරයා පිස්සු ගකලිමින් හිඳ සිට ඇති අතර ආරක්ෂක ලේකම්වරයා ටයි එකක් දමාගෙන කොළඹට වී ඇවිදිමින් සිට ඇත. ඒ මදිවාට ඔවුන් දෙදෙනා යුද්ධය මුවාවෙන් සොරකම් කර ඇත, මානව හිමි කම් දරුණු ලෙස උල්ලංඝණය කර ඇත. ෆොන්සේකාගේ සහ ඔහුට සහාය දුන් විරුද්ධ පක්ෂවල ජනප්‍රිය මැතිවරණ කතා දෙස බලන විට යුධ වකවානුවේදී නාවික හමුදාව, ගුවන් හමුදාව පමණක් නොව ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජනාධිපති ධූරයද මෙහෙයවා ඇත්තේ ෆොන්සේකාය.
ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සහ ඔහුට සහාය දක්වන ලද විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන අයහපත් ප්‍රතිඵල.
මැතිවරණ වේදිකාවේදී ෆොන්සේකා කළ සුදු කොඩි කතාව සහ එවැනි යුද්ධය සම්බන්ධයෙන් කරන ලද වෙනත් බොහෝ ප්‍රකාශ ලංකාව ජාත්‍යන්තරය තුළ බරපතල දුෂ්කරතාවයකට පත් කළ අතර ලංකාවට පාඩමක් ඉගැන්වීමට කොනක් සොයමින් සිටි බටහිර බලවතුන්, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කොටි හිතවාදී ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවද ඒවා අසා අමන්දානන්දයට පත් විය. කොටි ත්‍රස්තවාදයේ ජාත්‍යන්තර බල ඇනි අධික උද්යෝගයකින් ක්‍රියාත්මක වීම ඇරඹිණි.
ෆොන්සේකාගේ වගකීම් විරහිත ප්‍රකාශ හේතුවෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ ප්‍රහාරක බලඇනිවලට අන දුන් යුධ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට පැමිණ වීමේ ජාත්‍යන්තර ක්‍රමෝපායක් දියත් විය.
ඒ සඳහා පසු බිම සැකසීම පිණිස මෙක්සිකෝවේ ආධාරයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මංඩලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැණීමේ උත්සාහයක් දියත් වුවද රාජතාන්ත්‍රික ක්‍රමෝපායන් යොදාගනිමින් එය ව්‍යර්ථ කිරීමට රජය සමත් විය. එසේ වුවද යුධ අපරාධ සිදු කළ බවට ෆොන්සේකා කළ ප්‍රකාෂවල ඍජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ජී එස් බී ප්ලස් සහනය අපට අහිමි වූ අතර එක්සත් ජාතීන්ගේ සභාපතිවරයා ලංකාවේ සිදු වී යැයි කියනු ලබන යුධ අපරාධ පිළිබඳව තමන්ට උපදෙස් ලබා ගැණීම සඳහා කමිටුවක් පත් කළේය.
ෆොන්සේකාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාෂ හේතුවෙන් ලංකාව බරපතල ජාත්‍යන්තර ගැටලු රැසකට මැදි වූ අතර, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කට පාලනය කර ගැණීමට අසමත් වූ ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තර වශයෙන්ද දැඩි විභේදනයකට බඳුන් වෙමින් දේශපාලන පක්ෂයක් ලෙස සිය පැවැත්ම අවසන් කර ගත්තේය.
ඔහුම පිළිගත් පරිදි දේශපාලනය හෝ ආර්ථිකය පිළිබඳ මල පොතේ අකුරක් නොදන්නා ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපති සිහින පෙන්වමින් එජාපය, ජවිපෙ, මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ සන්ධානය සහ මනෝ ගනේෂන්ද දෙමළ ඩයස්පෝරාවද කුමක් අපේක්ෂා කළේද?
ලෝකයේ දරුණුම සහ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය සමූලඝාතනය කරමින්, එහෙත් ඒ සමගම වර්ගවාදී හෝ ජාතිවාදී නොවෙමින්, සාමාන්‍ය සිවිල් ජනයාගේ ජීවිත හැකි උපරිම මට්ටමින් රැක ගණිමින්, ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ලද යුධ ජයග්‍රහණය 20 වන සියවසේ සහ 21 වන සියවස ආරම්භයේදී තුන්වෙනි ලෝකයේ රටක් ලද ඒ වර්ගයේ එකම ජයග්‍රහණය බව අවිවාදිත අතර ජාත්‍යන්තරය පමණක් නොව ලංකාවේ සියලු විරුද්ධ පක්ෂද එය දැන සිටියේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය හිනි පෙත්තටම නැග ඇති බවත්, දීර්ඝ කාලයකට ලංකාව තුළ වෙනත් දේශපාලන පක්ෂයක් බලයට පැමිණීම සිහිනයක් පමණක් වන බවත් විපක්ෂයට වැටහිණි.
මීට අමතරව තිස් වසරක් පුරා නොගිණිය හැකි තරම් භෞතික සහ මානව සම්පත් සම්භාරයක් කාබාසිනියා කර දමමින්, රට ආර්ථික සහ මානුශික අගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදය දැන් අවසන්ව තිබූ බැවින් සංවර්ධනය සඳහා රට ඉදිරියේ පැවති යෝධ ශඛ්‍යතාවයද ඔවුන් වටහා ගත්තේය.
ලංකා ඉතිහාසයේ මේ ස්වර්ණමය අවස්ථාව ඩැහැ ගැනීමට නම් දේශපාලන බලය අවශ්‍ය වේ. එහෙත් දේශපාලන බලය පැවතියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය අතේය. ෆොන්සේකාගේ ජනාධිපති සිහිනය යනු විපක්ෂය එම රාජ්‍ය බලය ඩැහැ ගැණීමට දරණ ලද අශික්ෂිත ස්වප්න ව්‍යායාමයයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ෆොන්සේකා කුමක් අපේක්ෂා කළේද?
හමුදාපතිවරයා ලෙස ඔහු අසීමිත බලයක් හෙබවීයය. තමන් වෙත රැඳි බලය අත හැරීමට ඔහු තුළ සූදානමක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ බලයයි. ජවිපෙ සහ එජාපය ඔහුව කෙතරම් කඩේ යවා තිබුණේද යත් සමස්ථ ලංකාවම ඔහුව ජනාධිපති කරනු ඇතැයි අවංක විශ්වාසයකින් යුතුව ඔහු බලා සිටියේය.
එජාපය කුමක් අපේක්ෂා කළේද?
පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් තමන් අන්ත පරාජයකට ලක්වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමස්ථ එජාපයම දැන සිටියේය. රනිල්ගේ අපේක්ෂාව වූයේ ෆොන්සේකාගේ ජනප්‍රියත්වය ඇමට දමා ඔහුව ජයග්‍රහණය කරවා රණිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමය. ඉන්පසු විධායක ජනාධිපති ධූරය අහෝසි කොට, රනිල් විධායක අගමැති ධුරයකට පත්ව ෆොන්සේකාව ගෙදර යැවීමය. අනෙක් අතට ෆොන්සේකා පරාජය වුවද රනිල්ට සිදු වන පාඩුවක් නැත. මන්ද යත් අඛණ්ඩව විපක්ෂ නායක ධූරයේ රැඳී සිටීමට එය ඔහුට හේතුවක් වන බැවිණි.
ජවිපෙ කුමක් අපේක්ෂා කළේද?
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එජාප ජවිපෙ හවුලක් බිහි වන්නේ මේ ජනාධිපතිවරණයේදීය. ජවිපෙ අරමුණ වූයේ පළමුව සියලු පක්ෂවල සහායෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමත් අනතුරුව එජාපය දෙමළ සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු සියලු අවශේෂ පක්ෂ හලා ජෙනරාල් සමග එකතුව ආණ්ඩු බලය සියතට ගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කර ජෙනරාල්ව ගෙදර යවා පූර්ණ ආණ්ඩු බලය සියතට ගැණීමය.(1971 සහ 1989 හැර 2010 දී ජවිපෙය එළඹෙන මෙම තීරණය, දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ මෙතෙක් එළඹුණු අනුවනම දේශපාලන තීරණයයි).
මුස්ලිම් කොන්ග්‍රසයේ අරමුණ කුමක් වීද?
හකීම්ගේ අරමුණ වූයේ කාගේ ප්‍රධානත්වයෙන් රජයක් බිහි වුවද, රාජ්‍ය බලයෙන් සැළකිය යුතු පංගුවක් කඩා ගැණීමත්, දැනට එක්සත් ජනතා නිදහස් සංධානයට වාසි සහගත ලෙස පවතින නැගෙනහිර සහ උඩරට මුස්ලිම් බලය තමන් සතු කර ගැණීමත්ය.
දෙමළ ජාතික සන්ධනයට සහ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වූයේ කුමක්ද?
ඔවුන්ට අවශ්‍ය වූයේ දැනට තමන්ට තීරණාත්මක බලයක් නොමැති උතුරු නැගෙනහිර පලාත්වල බලය පිහිටුවා ගැණීමත් ඒ ඔස්සේ යලිත් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය ඇරඹීමත්ය. ඊට අමතරව දෙමළ බෙදුම්වාදීන් දේවත්වයෙන් සැළකූ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන් අවසන් කළ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ සේනාංකාධිපතිවරුන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට දක්කා ඔවුන්ගෙන් පලි ගැණීමත් ඒ ක්‍රීයාදාමය අතරතුර ජාත්‍යන්තර සහායෙන් උතුරු නැගෙනහිර පලාත් තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කර ගැණීමත්ය.
මනෝ ගනේෂන්ට අවශ්‍ය වූයේ කුමක්ද?
දැනට තමන්ට නොමැති වතුකරයේ සහ උතුරු නැගෙනහිර පලාත්වලින් පිටස්තර දෙමළ ජනයාගේ එකම නායකයා වෙමින් තොන්ඩමන් ප්‍රමුඛ වත්මන් වතු දෙමළ නායකත්වය අවසන් කර දැමීමය.
මේ ජෙනරාල් ෆොන්සේකාට පිටුපසින් සිටියවුන් දුටු සිහිනය.
එහෙත් මේ සිහින දකින්නවුන්ගේ අපේක්ෂා එකිනෙකට පටහැණි වූ බැවින් ඔවුන්
ජනතාවට දිස් වූයේ ජනාධිපතිවරණ වේදිකාවල එකිනෙකට හාත්පසින් පරස්පර විරෝධී ප්‍රකාෂ කරමින්, කරන ලද ප්‍රකාෂ නැවත නැවත වෙනස් කරමින් සහ සංශෝධනය කරමින්,
පරස්පර විරෝධී විවිධ සිහින දුටු එහෙත් ඒ සිහින සැබෑ කර ගැණීම සඳහා එකට වැඩ කළ කල්ලියක් ලෙසය.
කෙසේ වුවද විපක්ෂ සහ කොටි හිතවාදී සිහින බිඳ දමමින් ෆොන්සේකා පරාජයට පත් වූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.
හදිසියේ ජනරාල් ෆොන්සේකා 2010 ජනපතිවරණය ජයග්‍රහණය කළේ නම් මේ වන විට ලංකාව කෙබඳු රටක් වනු ඇතිද?
ජෙනරාල්වරයා සිය මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයාව සහ ආරක්ෂක ලේකම්වරයාව නිර්දය ලෙස විවේචනය කළේය. ඔහුගේ බහුතරයක් විවේචනයන් දේශපාලන නොවන පෞද්ගලික විවේචන විය. විශ්‍රාම යාමට සිටි තමන්ට සේවා දිගුවක් මෙන්ම හමුදාපති ධූරයද ලබා දී ජෙනරාල් තනතුරකටද උසස් කිරීම පමණක් නොව ඉහලම ගෞරවය පිරිනැමීමට ස්තුති කරනු වෙනුවට එය සුලු දෙයක් කොට සැළකූ ෆොන්සේකා තමන් ෆීල්ඩ් මාෂල් තනතුරකට උසස් නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාට චෝදනා කරමින් සිටියේය.
එසේම ඔහු ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම අවසන් සටනට නායකත්වය දුන් හමුදා සේනාංකාධිපතිවරුන්ටද විවෘතව තර්ජනය කරමින් කියා සිටියේ තමන් ජනාධිපති ධූරයට පත් වූ පසු ජම්පර ඇඳගෙන සිර දඩුවම් විඳීමට සූදානමින් සිටින ලෙසය.
ලංකා දේශපාලනයේ එක් ජුගුප්සාජනක ප්‍රවනතාවයක් වන්නේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය මෙන්ම, ජාතික අභිමානයද දේශපාලන බල අරගලයේ දාදු කැට වීමය. තම රටට විරුද්ධව දේශපාලන සහ ආර්ථික සම්බාධක පනවන ලෙසත්, තම රටේ වගකිව යුතු නායකයන් සහ නිලධාරීන් ජාත්‍යන්තර යුධ අධිකරණවලට පමුණුවා ඔවුන්ට දඬුවම් දෙන ලෙසත් ජාත්‍යයන්තර ආයතන සහ රටවලින් ඉල්ලා සිටින එකම විපක්ෂ දේශපාලන පක්ෂ පවතින්නේ ලංකාවේය. මෙය ලෝකයේ වෙනත් කිසිදු රටක දැකිය නොහැකි අශික්ෂිත තත්වයකි.
ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහණය ශ්‍රී ලංකා රජය ලද විශිෂ්ට ජයග්‍රහණයක් බව හදවතින්ම පැවසූ එකම වගකිව යුතු විපක්ෂ දේශපාලන නායකයා සජිත් ප්‍රේමදාස මහතා පමණි. අනෙක් ඇතැම් විපක්ෂ නායකයින් එය සරදමට ලක් කළේ පාමංකඩ සහ මැදවච්චිය වර්ගයේ විහිලුවලිනි. නැතිනම් තොප්පිගල යනු නොවැදගත් කැලෑවක් යැයි පැවසීම වැනි විහිලුවලිනි.
ජනාධිපතිවරණය පුරා ජෙනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ විපක්ෂය කළ එකම කාර්යය වූයේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව වෛරය වැපිරවීම පමණි. බලකාමී හමුදා නායකයෙකු රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙනු ඇතැයි උදම් ඇනූ ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ කියුම් කෙරුම්වල පැවති අවස්ථාවාදී ජුගුප්සාජනක බව කැපී පෙනෙන්නේ හමුදාව දේශපාලනයට ඈඳා ගැණීමේ පල විපාක අදටත් නොඅඩුව භුක්ති විඳින බුරුමය, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන ආසියානු රටවල දේශපාලන ඉතිහාසය මෙන්ම වර්තමානයද ඒ හා සසඳන විටය.
හදිසියේ ෆොන්සේකා ජනාධිපති වූවා නම් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ දෙවන වටය මේ වන විට ඇරඹී තිබෙන්නට තිබිණි.
එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දැරූ ෆොන්සේකාගේ සංධානයේ නායකයන් අතර රාජ්‍යබලය ඩැහැගැණීමේ බියකරු යුද්ධයක් ඇතිව පවතින්නට තිබිණි
වෙන කවර කලකටත් වඩා ලංකාවට විදේශීය මැදිහත්වීම් සහ අත පෙවීම් සිදු කිරීම ඇරඹී තිබෙන්නට තිබිණි.
ලංකාව එකම දේශපාලන අවුල්ජාලයක් බවට පත් වන්නට තිබිණි.
මහින්ද රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ සහ අවසන් සටනට නායකත්වය දුන් සේනාංකාධිපතිවරු හේග් නුවර ජාත්‍යන්තර සිපිරිගෙවල සිටිමින් ජාත්‍යන්තර යුධ අධිකරණයක චුදිතයන් විය හැකිව පැවති අතර නවනන්දනී පිල්ලේ වැනි කොටි හිතවාදී ජාත්‍යන්තර නිලධාරීන් එහි විනිසුරන් වන්නට තිබිණි (සසඳන්න සදාම් හුසේන්ට සහ ස්ලොබොඩාන් මිලොසොවික්ට එරෙහි නඩු විභාග)
කෙසේ වුවද ලංකාවේ ජනතාවගෙන් අති මහත් බහුතරයකට එය වටහා ගැණීමේ බුද්ධියක් පැවති බැවින් එය වැලකිණි
ජෙනරාල් ෆොන්සේකා වැරදිකරුවෙක්ද?
ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් සළකන කළ මගේ නිරීක්ෂණයට අනුව ඔහු නෙතිකව වැරදිකරුවකු විය යුත්තේ චෝදනා දෙකකට පමණි. ඉන් පළමුවැන්න වන්නේ ආරක්ෂක මාංඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සහ ආරක්ෂක මණ්ඩලයේ අසුන් ගණිමින්, විපක්ෂ දේශපාලන පක්ෂ සමග දේශපාලනයේ නියැලීමය. මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක උසස් හමුදා නිලධාරියෙකුය එල්ල කල හැකි බරපතලම චෝදනාවලින් එකකි.
ඇෆ්ගනිස්ථානයේ සිටි බහුජාතික හමුදාවල අන දෙන නිලධාරියා වූ ජෙනරල් මැක් ක්‍රිස්ටල්ව තනතුරින් පහ කර ගෙදර යැවීමට ඔබාමාට ගත වූයේ පැය විසිහතරකටත් වඩා අඩු කාලයකි. චෝදනාව වූයේ ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන් අකාර්යක්ෂම බව විවේචනය කරමින් රෝලින් ස්ටෝන් සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකි. මවිතය දනවන කරුණ වන්නේ මෙම ජෙනරාල්වරයා ඔවුන්ට අපහාස වන කිසිවක් එහි ප්‍රකාෂ නොකිරීමත් ඔවුන්ගේ පරිපාලන ක්‍රියාදාමය විවේචනය කිරීම නිසා පමණක් එම දඩුවම ලැබීමත්ය. වැරදී හෝ එය ජෙනරාල් ෆොන්සේකා වර්ගයේ විවේචනයක් වී නම් ජෙනරල් මැක් ක්‍රිස්ටල්ට පෝරකයෙනුත් එහා යන්නට සිදු වන්නට තිබිණි සසඳනවා නම් මේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි
බලන්න.
දෙවන චෝදනාව වන්නේ ශ්‍රී ලංකා රජය සහ එහි යුධ හමුදාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීමත්, ජාත්‍යන්තර ආයතන සහ බටහිර බලවතුන් සමග අර්බුදයක් දක්වා එය තල්ලු කිරීමත්ය.
ඒ හැර සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා නැගීම පදනමක් නොමැති තර්කයකි. ඕනෑම විශාල ආයතනයක් හෝ සංවිධානයක් පාලනය කළ පුද්ගලයෙකුට එරෙහිව දූෂණ චෝදනාවක් සොයා ගැණීම ඉතා පහසු කටයුත්තකි. එහෙත් ෆොන්සේකා හමුදාපතිවරයා ලෙස සොරකම් නොකළ බව හමුදාපතිවරයා ලෙස ඔහු පරිහරණය කළ මිළියන ගණනක මුදල් සම්භාරය හා සසඳන කළ ඉතා පැහැදිළිය.
මීලග කරුණ වන්නේ ෆොන්සේකාට එරෙහි හමුදා අධිකරණ ක්‍රියාදාමයයි. ශ්‍රී ලංකා හමුදාවන්හි සම්භවය බ්‍රිතාන්‍ය හමුදා වන බැවින් 1949 අංක 17 දරණ ශ්‍රී ලංකා යුධ හමුදා පනත සැකසී ඇත්තේද බ්‍රිතාන්‍ය හමුදා පනත ගුරු කොට ගණිමිණි. ඒ අනුව හමුදා අධිකරණය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේම කොටසක් විනා මහින්ද රාජපක්ෂ රජයේ පෞද්ගලික නිර්මාණයක් නොවේ.
බලන්න.
ඉන්දීය හමුදා අධිකරණය ඉදිරියට පැමිණවූ ලුතිනන් ජෙනරාල්වරයෙකු පිළිබඳ සටහනක්.
බලන්න.
ශ්‍රී ලංකා දේශපාලනයේ සරත් ෆොන්සේකා භූමිකාව අවසන් වේ.
මේවන විට යුධ සෙන්පතියෙකු ලෙස ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යභාරය අවසන්ය. දේශපාලනඥයෙකු ලෙස රටට කළ හැකි කිසිවක් කිසි කළෙක ඔහුට නොතිබූ අතර, වර්තමානයේ හෝ අනාගතයේද නැත. අනෙක් අතට වසර හතලිහක දේශපාලන පරිචයකින් සහ දැණුමකින් හෙබි මහින්ද රාජපක්ෂ සමග දේශපාලන තරගයක නියැලීමේ පමණක් නොව එවැන්නක් සිතීමේ දේශපාලන සුදුසුකමක්වත් ෆොන්සේකාට නැත.
ඕනෑම වෘත්තියකට ඊට අවශ්‍ය දැණුම, සුදුසුකම් හා පරිචය අවැසිය. වෛද්‍ය උපාධිය රහිතව වෙදකම් තළ නොහැක. හමුදා පුහුණුව රහිතව යුද්ධ කළ නොහැක. ඉංජිනේරු දැණුම රහිතව පාලම් සෑදිය නොහැක. නීතිය පිළිබඳ දැණුම රහිතව අධිකරණයක කටයුතු කළ නොහැක.
එසේ වුවද දේශපාලනය යනු ඕනෑම හාල්පාරුවෙකුට නියැලිය හැකි ක්ෂේත්‍රයක් ලෙස සිතන්නට රටේ ඇතැම් ජනතා කොටස් මෙන්ම ඇතැම් දේශපාලනඥයින්ද පුරුදුව සිටී. එහෙත් දේශපාලනඥයා යනු රටක මෙහෙයුම් යාන්ත්‍රණය භාරව සිටින ප්‍රතිපත්ති සම්පාදකයා වන බවත්, ඔහු මූලික වශයෙන්ම දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳ දැණුමින්, බුද්ධියෙන් සහ පරිනත බවින් තොර අයෙකු වන්නේ නම් රට පිරිහෙන බවත් ඔවුන් නොසිතයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය දූෂිතය, එහි නාස්තියද අති විශාලය, ඒ සියලු කරුණු සළකමින් වුවද, සියලු විපක්ෂ දේශපාලන ව්‍යාපාර සමග සසඳන කළ මේ මොහොත වන විටත් ලංකාවට පවතින ආරක්ෂිතම සහ හොඳම රජය මෙම රජයයි.
රජයේ නාස්තියට සහ දූෂණයට මූලික වශයෙන් වග කිව යුත්තේ ජනතාවය. මන්දයත් පාර්ලිමේන්තුවට අවස්ථාවාදීන්, හොරුන්, දූෂිතයන්, පාදඩයන් සහ නූගතුන් පත් කරන්නේ ජනතාව බැවිනි. මෙවැන්නන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කොට ඉන් පසු රජය දූෂිතයි කියමින් බෑගිරි හඬ තැලීම විහිලුවකි.
1989 සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය විමසන විට ඉතා පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ බහුතරයක් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ හැසිරී ඇත්තේ ජනතා ව්‍යාපාරිකයන් ලෙස බවය. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ සිට මේ දක්වාම බහුතරය රැක ගැණීම සඳහා මේ ජනතා මුදලාලිලාට කප්පම් සහ වරදාන ප්‍රදානය කරන්නට රටේ ජනාධිපතිවරුන්ට සිදු විය. ඒ සඳහා මුදල් තනතුරු සහ ඥාති සංග්‍රහය මෙන්ම හොරකමට දඬුවම් නොකර සිටීමද යොදා ගන්නට සිදු වූ අතර අද පවා මෙම ජනතා කප්පම්කරුවන්ට කප්පම් ප්‍රදානය කිරීමෙන් තොරව රජය පවත්වාගෙන යා නොහැක. රාජ්‍ය බලය හොබවන්නේ කවුද යන්න තීරණය වන්නේ මෙම ජනතා නියෝජිත කප්පම් කරුවන් සඳහා මහින්දට සහ රනිල්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය සහ ලබා දිය හැකි වරදාන ප්‍රමාණය මතය. මේ කප්පම් මුදල් සෙවීම සඳහා ඕනෑම ජනාධිපතිවරයෙකුට මුදල් සෙවීමට සිදු වේ. එනයින් ක්‍රමය විසින්ම ඔහුව හෝ ඇයව දූෂිතයෙකු බවට පත් කෙරේ. මෙලෙස කප්පම් ගෙවමින් බහුතරයද නඩත්තු කරගෙන රටක දැවෙන ප්‍රශ්ණවලට පිළිතුරු පයමින් රටක් සංවර්ධනය කරා රැගෙන යාම යනු කුඩා දරුවන් ජිල් බෝල ගසන්නාක් වැනි සරළ ජොලි වැඩක් නොවේ.
දූෂිත නොවන, එසේම හොරකම් නොකරන දේශපාලන පක්ෂ මෙන්ම ජනතා නියෝජිතයන්ද රට තුළ සිටී. නිදසුනක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය, ජවිපෙ, ජාතික හෙල උරුමය වැනි පක්ෂවල නියෝජිතයින් සන්සන්දනාත්මකව ගත් කළ අවංක, බුද්ධිමත්, අදූෂිත ජනතා නියෝජිතයන්ය. එහෙත් ඔවුන්ට ඡන්දය නොදෙන අපේ බුද්ධිමත් ජනතාව ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැණීම සඳහා වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තු යවන්නේ දේශපාලනය, ආර්ථිකය හෝ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ මල පොතේ අකුරක් නොදත් නිලියන්වය. පාසැලේ අටේ පන්තියවත් සමත් නැති කුඩු කාරයන්, කසිප්පු කාරයන් සහ මැරයන්වය. ඒ අතරම මිලින්ද මොරගොඩ වැනි අධූෂිත, නෛතික ප්‍රජාතාන්ත්‍රික ශික්ෂණයකින් හෙබි බුද්ධිමත් දේශපාලනඥයන්ව ගෙදර යැවීමටද ජනතාව අමතක නොකරති. ප්‍රජාතන්ත්‍රවාදයේ මේ උභතෝකෝටිකය විසඳාගන්නා තුරු රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා කිරීම නම් සිහිනයකි.
ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් දැන් කළ යුත්තේ කුමක්ද?
ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යභාරය දැන් අවසන්ය. බල ලෝභයෙන් යුතුව අවස්ථාවාදී බල දේශපාලන කල්ලි කිහිපයක නූගත් ඉත්තෙකු බවට පත් වීමෙන් ඔහු තමන් උපයා ගත් සියල්ල අහිමි කර ගත්තේය. එසේ වුවද යුධ හමුදා පතිවරයා ලෙස ඔහු ජනාධිපතිවරයා තමන්ට පැවරූ කාර්යය අකුරට ඉටු කළේය. ශ්‍රී ලංකා හමුදාව අයෝමය විනයකින් පාලනය කරමින් එය ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට නායකත්වය සැපයීය. පසුව ඔහු කුමක් කළද ඔහු රට වෙනුවෙන් කළ එම සේවය කිසි කළෙක අප අමතක නොකළ යුතුය.
රහත් නොවූ ඕනෑම මනුශ්‍යයෙකු පුහුදුන් මිනිසුන්ය. එය ජනාධිපති මහින්ද රාජපක්ෂට, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකාටද, ඔබට මෙන්ම මටද පොදුය. යුද ජයග්‍රහණයෙන් පසු ආරක්ෂක ලේකම්වරයා අතින් මෙන්ම ජනාධිපතිවරයා අතින්ද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ නොකළ යුතු අන්දමේ බරපතල වරදක් සිදු විය. එනම් යුධ නායකයයෙකුට අනවශ්‍ය තරමේ ප්‍රමුඛතාවයක් සහ ප්‍රශංසාවක් පිරිනැමීමය. එයින් හිස උදුම්මාගත් ජෙනරාල් ෆොන්සේකා අතින්ද වරදක් සිදු විය. හිටපු යුධ හමුදාපතිවරයෙකු මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු නොකළ යුතු, රට අර්බුදයට ලක් කරන ප්‍රකාශ මෙන්ම හැසිරීම්ද ඔහු වෙතින් ප්‍රකට විය.
යුධ සමයේ මාධ්‍ය සාකච්ඡාවලදී අසාධාරණ විවේචන හෝ ප්‍රශ්ණ යොමු කළ විට ගෝඨාභය රාජපක්ෂට කේන්ති යන අයුරු නිරීක්ෂණය කරන්න. ඔහුගේ කේන්තියේ මනෝ විද්‍යාත්මක සාධකය වන්නේ ඔහුගේ අවංකත්වයයි. ඔහුගේ අවංක කාර්යභාරය අසාධාරණ විවේචනයකට ලක් කරන විට ඔහුට තදින් කේන්ති යයි. ඔහු වංචනිකයෙකු නොවන බැවින් ඔහුට ඕනෑම ප්‍රශ්ණයකට තමිල් සෙල්වම් වර්ගයේ සාදා නිම කළ සිනහවක් මුව රඳවාගෙන පිළිතුරු දිය නොහැක.
අවසන් වශයෙන් කිව යුත්තේ මම ලංකාවේ පුරවැසියාය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය අවසන් වශයෙන් හිමි මටය. ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ විධායකය පත් කරන්නේද, අස් කරන්නේද, එය වෙනස් කරන්නේද මමය. ලංකාවේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් මෙන්ම අධිකරණයද, දේශපාලන පක්ෂද විවේචනය කිරීමේ මෙන්ම ඒවාට නිර්දේශ නිකුත් කිරීමේ බලයද අවසන් වශයෙන් හිමි වන්නේ මටය.
එබැවින් මවිසින් ඡන්දයෙන් පත් කරන ලද මගේ රටේ ජනාධිපතිවරයාට පහත නිර්දේශය ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. සරත් ෆොන්සේකා රට වෙනුවෙන් කළ සේවය පමණක් සළකා ඔහුට ජනාධිපති සමාවක් පිරිනැමීම සුදුසුය. එසේම ඔහුට ඔබ විසින් පිරිනමන ලද ජෙනරාල් තනතුර මෙන්ම ඔහුගේ විශ්‍රාම වැටුපද යලිත් ලබා දීමද සුදුසුය. ඔබගේ දීර්ඝකාලීන දේශපාලන දැණුමට සහ පරිචයට මෙන්ම යහපත් බෞද්ධයෙකු ලෙස ඔබගේ දේශපාලන පරිනත බවටද එබඳු තීරණයක් මනාව ගැලපේ.
මම ජෙනරාල් සරත් ෆොන්සේකාටද අවවාදයක් දීමට කැමැත්තෙමි. ඒ ඔබ විශිෂ්ට යුධ සෙන්පතියෙකු විනා විශිෂ්ට දේශපාලනඥයෙකු නොවන බැවින් ඔබ විසින් දරණ ලද ගෞරවාන්විත තනතුරුවල ගරුත්වයද ඔබ විසින් ඉටු කරන ලද ඓතිහාසික භූමිකාවේ පෞඪත්වයද හෑල්ලු නොවන පරිදි වගකීම් සහගත සහ ගෞරවාන්විත දිවි පැවැත්මක් වෙත විතැන් වන ලෙසය.
අවසන් වශයෙන් ලංකාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂවලටද අවවාදයක් දීමට මම කැමැත්තෙමි. ඒ මින් මතු මොනම ආකාරයක හෝ දේශපාලන බල අරගලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය පිළිබඳ කරුණු පරදුවට තැබීමෙන් වලකින ලෙසය.